Friday, August 28, 2015

වැරදුණු කුරුමානම

අද මං කියන්න යන්නේත් 1960 ගණන් වල සිද්ධ වුනු සිදුවීමක්. මේකත් ඉතින් අපේ පියතුමාගේ රසවත් අත්දැකීමක් තමා.

ඔයාල දන්නවනේ තණමල්විල. ඔව් ඒකාලෙ ඉඳලම මල් වලට තමා ප්‍රසිද්ධ. එත් මේ තණමල්විල මල් ගැන නම් නෙමේ. එහේ තිබිල තියෙනවා තල්ගහ දිගන වැව කියල වැවක්. ඒක තියෙන්නෙ තණමල්විල ටවුන් එකේ (ටවුන් කීවට ඉතින් ඒකාලෙ පොඩි කඩමණ්ඩියක් තමා)  ඉදන් හැතැක්ම 7,8 ක් දුරින්. හැතැක්ම දෙකක් විතර වාහනයකින් ගිහින් කිරිඳි ඔයෙන් එගොඩවෙලා ඉතිරි දුර පයින්ම තමා යන්න ඕන.

මෑත කාලයේ තණමල්විල කඩමණ්ඩිය.

අපේ මිනින්දෝරු පාටිය කිරිඳි ඔය තරණය කරල, ඒ කිට්ටුවම කෑම්ප් එකත් සවි කළාලු. ඒ දවස්වල එහෙම තමා. ඔයක් දිය පාරක් ලඟ තමා කූඩාරම් ගහන්නෙ. කොයි දේටත් පහසුයි නේ. ඔය කිරිඳි ඔය හිටපු ගමන් වතුර වැඩිවෙලා දෙගොඩතලා යනවලු. එහෙම වුණාම ඉතින් ගමනා ගමනය අති දුෂ්කරයි. ඉතින් අපේ පිරිස ගඟේ එගොඩ මෙගොඩ යා කරල හොඳ හයිය කඹයක් ඉවුරු දෙකේ ගස් දෙකක ගැට ගහනවලු.  අමුත්තෙක් එහෙම කෑම්ප් එකට එනවනම් ඇඳි පුටුවකට හයිය ලී දෙකක් ගැටගහල පොඩි දෝලාවක් වගේ එකක් හදාගෙන මිනිස්සු හතර දෙනෙක් දාල ඒකෙන් තමා එගොඩ කරන්නෙ. වතුර වැඩි වුනාම කඹය අල්ලන් තමා එගොඩ මෙගොඩ යන්නෙ. වතුර පාර සැර වැඩි වුණාම කඹේ එල්ලිලා හරහට තමා යන්නෙ. කකුල් ඔය පතුලෙ වදින්නෙ නෑ.

කිරිඳි ඔය

මිනින්දෝරු කූඩාරමක් සහ එහි නිදන කුටිය

ඔන්න ඉතින් කට්ටිය පහුවදා උදෙන්ම වැව මනින්න යන්න අඩුම කුඩුමත් ලෑස්ති කොරාන කෑම්ප් එකෙන් පිටත් වුණාලු. ඔය අපේ පාටියට තුවක්කු රාළ කෙනෙකුත් ඉන්නව නෙව. එයා තමා පාර පෙන්නන්නත් එක්කල ඉස්සර වෙන්නෙ. මේ කැලෑවෙ ඒ දවස්වල අඩිපාරවල් විතරයි තිබිල තියෙන්නෙ. වන සතෙක් මිසක් අතර මගදි මිනිස් පුලුටක් හමුවන්නෙ බොහොම කලාතුරකින්. මග දිගට හමුවෙන තරමක ගස් වලට කැත්තෙන් කොටලා පොත්තක් ගහන්න වෙනම කෙනෙකුත් උන්නලු. 

මේ යාලුවොත් අතර මග නැතිවා නෙමේ ඈ. මෙයාල තමයි කැලේ අඩිපාරවල් රෙජිස්ටර් කරන උදවිය.



කැලේ අඩිපාරක්.


උදේ පාන්දර වන අසිරිය.

උදේම කුරුලු කොබෙයි ගීත නාදයෙන් මුසපත්වෙලා මෙහෙම ටික දුරක් යනකොට එක පාරටම තුවක්කු රාළ පිරිසට අතින් සංඥාවක් කරල හුන් තැනම පහත් වුනාලු. කාණ්ඩෙ මෙහෙම විනාඩි 10ක් 15ක් බලා ඉන්නවලු. තුවක්කු රාළත් කිසිම හැල හොල්මනක් නැතිව ඉදිරිය බලා ගත්තු ගමන්ම. අපේ තාත්තත් හිමීට පොලවට නොදැනෙන්න තුවක්කු රාලට කිට්ටු කරල බැලින්නම් තඩි කොටි හපුයියෙක් ගස් දෙබලක් උඩ. ඒක උන්නෙ අපේ පිරිසට පිටුපාල. ගහ යට පොඩි දියකඩිත්තකුත් කියෙනවලු. කොටි හපුවත් හැලහොල්මනක් නැතිව ඉදිරිය බලාගත්තු ගමන්. සාමාන්‍යයෙන් මේ විදියට ඉන්නෙ උගෙ ඉදිරියෙ ගොදුරක් තියෙනවනම් තමයි. ඒත් දිය කඩිත්තෙවත් ඒ ඉවුරෙවත් කිසිම සතෙක් නෑ. සමහර විට මේකට අපිට නොපෙනෙන යමක් කෑලෑවෙන් දිය කඩිත්ත දෙසට මතු වෙනකම් ඉන්නව වෙන්නත් පුලුවන්.


මෙහෙම ටික වෙලාවක් හිටපු තුවක්කු රාළ, ගිනි කඳෙත් සූජානම් කරගෙන ටිකෙන් ටික ගස් දෙබලට කිටටු කළාලු.  අතින් සංඥාවක් කරල අපේ පියතුමාවත් ලඟට ගෙන්න ගත්ත. තව ටිකක් හොඳට බලාගෙන ඉන්න කොට පේනවලු, මැස්සො වගේ කුඩා සත්තු ජාතියක් කොටි හපුයියගෙ ඔලුව වටේ කැරකෙනව. ඉතින් තුවක්කු රාළ එකපාරටම නැගිටල ගිහින් කොටියගෙ පස්සා පැත්තට තුවක්කු බටෙන් ඇන්නෙ නැතෑ. හපොයි දෙවියනේ කට්ටියම හිතුවෙ එක්කො හපුයියා බයටම ගැසිසිලා දුවයි නැත්නමි ආපහු හැරිල තුවක්කු රාළත් එක්කල ද්වන්ද සටනක් දෙයි කියල. සමහරු ඇස්දෙකත් පියාගෙනලු. තවත් අය හිතින් තුවක්කුරාළට බනිනවලු උණ්ඩ තියෙද්දි මොන එහෙකට බටෙන් ඇන්නද කියල.




වැරදුණු කුරුමානම


ඒත් බොලේ මේක ගස් දෙබලෙන් බිමට පතබෑ වෙච්චි ගෙම්බ පොලේ ගැහුව ගාණට.
හතර ගාතෙ හතර අතේ.

බැලින්නම් මේක පරලොව ගිය කොටියෙක් නෙවැ.

එකත් එකටම මූ දිය කඩිත්තට පැනල තියෙනවා මුවෙකුට හරි මී මින්නෙකුට හරි. උගේ කුරුමානම තිබිල තියෙන්නෙ ගස් දෙබල මැද්දෙන්. මේක ගස් දෙබලෙ හිරවෙලා.
මදැයි. එහෙ හැරෙන්නත් බෑ මෙහෙ හැරෙන්නත් බෑ.
ඒක එතනම පරලෝ සැපත්වෙලා.

ප.ලි...
ඒ කාලෙ කොටි හමක් කීවම ඉතින් අති දුර්ලභයි නේ. අපේ පියතුමාටත් දැන් උගේ හම ගෙනියන්න ආසාවත් ඇතිවෙලා. පස්සෙන් පහු එනගමන් මේකව කුදලගෙන යන්න හිතාන එදා වැඩට ගිහින්. 

හැබැයි ආපහු එනකොට නරි රංචුවක් කොටි හපුවගෙන් වාඩුව අරන්ලු. පස්සෙ ඉතින් උගෙ දත් ටිකකුයි නිය නිකකුයි අරන් ඇවිල්ලා. 

ඒ කොටි දත් ටික නම් තාමත් අපේ ගෙදර තියෙනවලු ඈ. මං පොඩි කාලෙනම් පුලුන් පුරොපු රාජාලියො, උකුස්සො, පොරෝ කෑදැත්තො, බකමූනො වගේ කුරුල්ලො ජාතිත් හිටිය. 

පස්සෙ අපේ අම්ම මැරිච්ච සත්තු මොකටද ගෙවල් ඇතුලට කියල කොටසක් භූමදානය කරල කොටසක් තාත්ත නැතිවෙලේ ආදාහනය කරල දාල.





(ගෙනාපු  මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමා යන්න අමතක කරන්න එපා...)

Thursday, August 20, 2015

දිළින්ඳෝ






රට ජාතිය ආගම මැන මොරදීලා
පිරිසක් ඇත ඡන්දය ඉල්ලා හඬලා
ගැනලා බැලුවම කඩදහි දිග ඇරලා
ඇත ජාතිය ආගම ගැන කලකිරිලා

කොටියා මහ දරුණු එකා නැගිටිනවා
අලියා ගොන් මැටි මෝලා රට කනවා
අපිනම් කතිරේ අප්පොච්චිට දෙනවා
උන්දැගෙ කරපිට හෙලුවෙන් මොරදෙනවා

කොටසක් හදවත ගෙනැවිත් දික්කරලා
විමසන්නලු සාක්ශියක් කන් දීලා
ප්‍රතිඵල බැලුවම පහුවදා එලිවීලා
සේරම හදවත් ඇත බයි පාස් කරලා

තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස

දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
රටකරවන ඇත්තන්ගේ නාඩගම
බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන